9 August 2021

ආකාස කඩේ බෝම්බය & කොළඹට එරෙහිව

 

ආකාස කඩේ බෝම්බය

 

ලෝ යදමින් නිදහස් වී

අහස උසින් පිහාටුවක

සැප සිටුවර පුටුව තබා

තොළ ගානා විට මධුවිත

කොටි වට කර මගෙ සිහිනය

වෙඩි තබනා සැටි දුටුවෙමි

 

දැරියක සේ නිරුවත් වී

නාගසාකි මහ පාරේ

මගෙ සිහිනය දිව යන කල

අරගත් පින්තූර රැසක්

බීබීසී නිව්ස් ලෙසින්

පත්තර පිටුවල පළ විය

 

යුද ගිනිදැල් නිවුණු පසුව

මගේ සිහින අවතාරය

යටි පතුලේ සිට ම වෙළා

මොඩර්න් ආර්ට් මූර්තියක්

විලස තනා කලාභවන

මැද සිටුවා මළකඩ කෑ

එන්නත් කටු ගසා තිබිණ

 

සුවපත් වුණු මගෙ සිහිනය

අහිමි දෙපා ගැන සිතමින්

රෝද පුටුව මත සැතපී

අහස අඳුරු නැති දිනවල

වලා අතර සුදට පෙනෙන

හෙද සඳ දෙස බලා සිටියි


 

කොළඹට එරෙහිව

 

රකුසු කිපුණු ලෙස

ඉර විත් ළඟටම

ඇරලා කවුළුව

පියන දෙපළු කර

රැස් නිය පහරින්

පහරා ඇසි පිය

බලවයි දෙඇසින්

පොරවා කඩමලු

තවමත් නිදියන

කම්බිලි නගරය

 

බිලිඳෙකු කෑදෙත

පදික තොටිල්ලක

කිරිපිටි විකුණන

කොම්පැනි එළදෙන

ඔබයි සූප්පුව

වෙසඟන දරු මුව

 

සරතැස දහවල

නිවනා සාගර

පංකා පහරේ

සතුටට ඉගිළෙති

ඔසවා අත්තටු

පරෙවි රෑන් උඩ

 

ඔල්කට් පාමුල

දින සිය ගණනක්

උපවාසය කළ

කම්කරු ඇස්වල

ලියවෙයි වැරදුණු

සටනක ඉරණම

 

කල්ගිය ජාතික

ඇඳුමට ගැළපෙන

නේරු ජටා හිස

දරමින් ඇවිදින

කොටුවේ කිවිඳෙක්

විකුණයි කවි කොළ

 

අල්ලා බොටුවෙන්

කොටුවේ මැරයන්

නඩුවට ගෙනයන

රථයෙන් යන්නෙමි

කොළඹට එදිරිව

නඩුවක් කියනට


Return to the collection


Illustration by Tahira Rifath

About the Author

Eric Illayapparachchi

Born in a suburban village close to Negombo, a coastal township, Eric Illayapparachchi is a well-known poet, novelist and short story writer in Sri Lanka. Tailorbird is the English translation of his novel Pradeshi.  He also wrote the opera Agni for a Sri Lankan maestro and adapted Franz Kafka's Metamorphosis for Asian cinema.


මීගමුවට ආසන්න වෙරළබඩ ගමක උපන් එරික් ඉලයප්ආරච්චි, ප්‍රකට ශ්‍රී ලාංකික ලේඛකයකි. ඔහු කවියෙක්, නවකථාකරුවෙක් හා කෙටිකථාකරුවෙක් වේ. ඔහුගේ පරදේසි නම් නවකථාව ටේලර්බර්ඩ් යනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත. ප්‍රවීන ශ්‍රී ලාංකික සංගීතකරුවකු වෙනුවෙන් අග්නි ඔපෙරා පෙළ රචනා කළ ඔහු, ආසියානු සිනමාව වෙනුවෙන් ෆ්‍රාන්ස් කෆ්කාගේ මෙටමෝෆොසිස් ද අනුවර්තනය කළේ ය. 

Stories you might like

Subscribe for new writing

Sign up to receive new pieces of writing as soon as they are published as well as information on competitions, creative grants and more.