Read time: 1 mins

උමග & (නො)වෙන

by Upekala Bhagyanie Athukorala
19 May 2021

උමග

යුගයකින් යුගයකට විතැන් වූ නුවර පිට

පවන් මත පවා කව් ලියා පා කළ බිමෙක

නහර ඇට මස් බදා විජිතයේ කපොලු හැර

ප්‍රාණයක් පතිත විය ජීවයක් දී අයැද

 

වහා ගිනිගෙන දැවුණු විජිතයක පරාජිත

කස තැලුම් පහර කා මුර්ජාව හුන් නුඹට

ආ ලෙසක් නොවිමසා නිදන්නට දී ගැඹුර

නිවන්නට සෑ මතට පැන දැවුනෙමත් මාය

 

දැල් ඇදුණු මතකයන් නොමිරිකා කබොලු කැණ

හද තැලුම් තව තවා දෙතොලින්ම උරා විස

පලස් බැඳ වියන් යට සැතපුවත් දී සුවය

උමග නුඹ හෑරුවේ නිදා හුන් තැනින්ම ය

 

රැගෙන ආ යම් දෙයක් ඇතත් නැතිවත් මොකද

ජීවිතය ඇද ඇදා ඇන්දුවේ නම් නුඹය

නුඹ නිදා හුන් බිමින් බොල් හඬක් නැඟි දිනය

ඒ තමා නුඹේ ඇස් මගෙන් විසිවූ දිනය

 

උමං දොර හැර දමා නුඹව නිදහස් කරමි

යළි හැරෙනු බැරි ගමන් ලොව ඇතැයි සිහි කරමි

මතක් වෙන්නට යමක් නොදී ගිය නුඹ නමිනි

මං මොකුත් නොදුන්නෙත් ගෙනයන්න ඒ බැවිනි

උපෙකලා අතුකෝරළ

 


ලොවම නිහඬව නිදන

නෙත් අන්ධ රෑ යමෙක

හද විලට සඳ බසින

නිමෙසක ද අහසම හඬන්නේ

 

වැව් මුවට නැමි නැමී පවනින්

විටින් විට නෙළුමකට මුව දෙන

බකිනි මල් ඉති කොහේ කෙදිනද

තුර’ග හැර දිය මත පිපෙන්නේ

 

තුඩග කෙමි මත තබා සීරුව

මුදුව රස තැන් උරා බොන බිඟු

කුසුමකට රොද බඳින වේගෙන්

කොහිද ඒ මත වද බඳින්නේ

 

ඉවුරකින් ඉවුරකට බැඳි බැඳි

කපාගෙන දිය ඇදීගෙන යන

පාරුවක් කවදාද දියවර

හඬට හද දී ගමන් යන්නේ

උපෙකලා අතුකෝරළ


Return to collection


Illustration by Erica Eng

About the Author

Upekala Bhagyanie Athukorala

Upekala Bhagyanie Athukorala is currently a teacher at a government school in the Western Province, Sri Lanka. Since her school days, her poems have appeared in the local newspapers. Her debut poetry collection, Paratharaya (Distance), was published in 2012, her second book, Sankranthiyaka Sanakeli (Carnival of Transition), in 2015, and her third collection, Irthu aga Shesha path (Remnants of the Seasons), in […]

Related